Pages

Saturday, July 16, 2016

තුර්කිය හමුදා කුමන්ත්‍රණය පරදයි



හමුදා කුමන්ත්‍රණය සම්පූර්ණයෙන්ම පාළනය කල බව තුර්කි රජය පවසනවා.

රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ජනාධිපති රෙසප් ටයිප් අඩොවාන් මහතා සදහන් කලේ රජයට එරෙහි වූ සියලු දෙනාට දැඩි දඩුවම් ලබා දෙන බවයි.

තුර්කි යුධ හමුදාවේ කණ්ඩායමක් හමුදා කුමන්ත්‍රණයක් මගින් එරට පාලන බලය ඔවුන් යටතට ගැනීමට තැත් කිරීම හේතුවෙන් අන්කාරා අගනුවර සහ ඉස්තාන්බුල් නුවර දැඩි නොසන්සුන් වාතාවරණයක් හටගෙන තිබුණා.

ඔවුන් ඇඳිරි නීතිය සහ මාර්ෂල් නීතිය ද පනවා තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අන්කාරා අගනුවර මර්මස්ථාන රැසකට සෙබලුන් දහස් සංඛ්‍යාත පිරිසක් යොදවා තිබූ අතර සාම මණ්ඩලය ලෙස හඳුන්වාගත් කණ්ඩායමක් පාලනය බලය ගෙන යන බවයි ඔවුන් සඳහන් කර තිබුණේ.

තුර්කි යුධ හමුදාවේ ඉහළ නිළධාරීන් රැසක් කුමන්ත්‍රණකරුවන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර හමුදා මාණ්ඩලික ප්‍රධානියාද ඒ අතර වුණා.

අදාළ හමුදා කණ්ඩායම විසින් තුර්කි පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර 2 ක් ද එල්ල කරනු ලැබුවා.

කෙසේවෙතත් තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් අඩොවාන් මහතා ඉස්තාන්බුල් ගුවන් තොටුපලේ සිට මාධ්‍ය අමතමින් අවධාරණය කලේ හමුදා කුමන්ත්‍රණය මුලුමනින්ම ව්‍යර්ථ කල බවයි.

තුර්කිය තුල නීතිය හා සාමය උපරිමයෙන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි ද කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිස්වලට දැඩි දඩුවම් ලබාදෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.

තුර්කි යුධ හමුදාවෙන් රාජ ද්‍රෝහීන් ඉවත් කිරීමේ කාලය එළැඹ ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

මේ අතර හමුදා කුමන්ත්‍රණය හමුවේ 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තුර්කි වාර්තා පවසනවා. ඉන් බහුතරය සිවිල් වැසියන් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.


කුමන්ත්‍රණ සිද්ධිය පිළිබඳ දැනගත් වහා සිවිල් වැසියන් අති විශාල ජනකායක් අන්කාරා සහ ඉස්තාන්බුල් නගර වෙත ඒකරාශී වී තිබුණා.

ඔවුන් පාලනයට හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිස් වෙඩි තැබිම හේතුවෙනුයි මෙලෙස සැලකිය යුතු පිරිසක් මියගොස් ඇත්තේ. කුමන්ත්‍රණකරුවන් විසින් තුර්කි පාර්ලිමේන්තුවට එල්ල කල බෝම්බ    ප්‍රහාරයකින් 12 දෙනෙකුද හෙලිකොප්ටරයක් මගින් විශේෂ බලකා මූලස්ථානයට එල්ල කල     ප්‍රහාරයකින් පොලිස් නිළධාරීන් 17 දෙනෙකුද මියගොස් තිබුණා.

මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට හමුදා සෙබලුන් 754 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. එමෙන්ම තවත් විශාල පිරිසක් රජයට භාර වී ඇති බව ද තුර්කි වාර්තාවල දැක්වෙනවා. මේ අතර කුමන්ත්‍රණකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගත් එරට හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් හුලුසි අකාර් ඉන් මුදා ගැනිමට එරට ආරක්ෂක අංශ සමත්වූ බවයි නවතම වාර්තාවක දැක්වුණේ. එමෙන්ම හමුදා කුමන්ත්‍රණය පාලනය කල බව තුර්කි රජය ප්‍රකාශ කලද තවමත් වෙඩි හඩ ඇසෙමින් ඇතැයිද බී බී සී ය වාර්තා කරනවා.

මේ අතර ජගත් මහ ලේකම් බැංකි මූන් / අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශව රැසක් තුර්කිය තුල සිදුවූ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කණස්සල්ල පල කර තිඛෙනවා.

ඔවුන් අවධාරණය කර ඇත්තේ කිසිදු ක්‍රියාවකින් සිවිල් වැසියන්ට හානියක් සිදු නොවිය යුතු බවයි.       ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් බලයට පත්වූ රජයට සිය සහයෝගය හිමිවන බවයි එමගින් වැඩිදුරටත් අවධාරණය කෙරුණේ.

මේ අතර හමුදා කුමන්ත්‍රණය හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබූ ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් මේ වනවිට යලි ආරම්භ වී තිඛෙනවා.

එමෙන්ම තුර්කි ජනාධිපතිවරයාට සහය පලකරමින් අතිවිශාල ජනකායක් ගුවන් තොටුපලට රැස්ව සිටින බවද සඳහන්.








No comments:

Post a Comment